Saturday, February 2, 2019

ජුබ්බාව, මිස්වාක් දණ්ඩ සහ දිග රැවුල

ප්‍රබලයින් විසින් දුබලයින් තලා පෙලා දමන සමාජ ව්‍යූහයක  සදාචාරසම්පන්න සාරධර්මවලින් පොහොසත් මනුශ්‍යත්වය ප්‍රගුණ කොට පෝෂණය කොට ධර්මිෂ්ඨ සමාජයක් සමාජ පසුබිමක් ගොඩනැගීම නබිතුමාගේ කාර්‍යය විය.

මිස්වාක් දණ්ඩ, ජුබ්බාව, රැවුල, වැනි දේවල් අරාබි අර්ධද්වීපයේ විසූ අධර්මිෂ්ඨ ජන කොට්ටාශය තුල එදිනෙදා ජීවිතයේ දක්නට තිබුණු සංස්කෘතික ලක්ෂණයන් විය.  ධර්මිෂ්ඨ සමාජ ව්‍යූහයක් ගොඩනැගිමේ කාර්‍ය්යට බාධාවක් නොවුණු එම සංස්කෘතිකාංගයන්ද නඟාසිටුවීමටද නබිවරයා කටයුතු කලේය.
එකී ජනයාගේ සුචරිතභාවයට හේතුපාදක වූ එතුමාගේ යහපත් ගුණාංග, අචාරධර්මයන්ගෙන් යුත් මාර්ගෝපදේශන ඇරයුම ලෝක අවසානය දක්වා කල යුතුව තිබෙන ඇරයුමද වේ.
ලෝකයාට හදුන්වාදිය යුත්තේ එතුමාගේ මෙම ඇරයුම මිසක්, ජුබ්බාව, මිස්වාක් දණ්ඩ, රැවුල වැනි සංස්කෘතිකාංගයන් නොවේ.

ශියා-සුන්නි

වර්තමාන ශියා, සුන්නි සංකේතය හා භාවිතය වනාහි  මැදපෙරදිග කලාපයේ   ඉරාන-සවුදි දේශපාලන බල අරගලය සංකේතවත් කරන එක්තරා සංකේතයක් පමණි. එක් පැත්තකින් සුන්නි රාජ්‍යන්ගෙන් ලැබෙන තුටු පඬුරු වෙනුවෙන්, ආගමේ නාමයෙන් සලෆ්  දේශකවරුන් විසින් මෙම වාග් විලාශය භාවිතා කරන අතර, තවත් පැත්තකින් මුස්ලිම් සහෝදරත්ව  පාක්ෂිකයන් අරාබි සුන්නි ආන්ඩු සමග සම්මුතියකට එළඹීමටත්, තම දේශපලන අභිමතාර්ථයට අනුමැතියක්  ලබා ගැනීමත්, ශියා විරෝධී සටන් පාඨය භාවිතා කරයි.

මෙය ශ්‍රී ලංකාවේ සලෆ් හා මුස්ලිම් සහෝදරත්ව ක්‍රියාකාරීත්වයන් හා  සමගාමීව  ක්‍රියාත්මක වන සංවිධාන, මැදපෙරදිග කේන්ද්‍ර කොට ගත් මෙම ශියා සුන්නි සූත්‍ර සිද්ධාන්තය දේවධර්මවාදී සිද්ධාන්තයක් බවට අර්ථ නිරූපණය කොට, එය සංවාදයට ලක් කිරීමත්, පොත් පත්‍රිකා ලිවීමත්, එමගින් ප්‍රීතියට පත්වීමත් වර්තමානයේ සුලබව දක්නට ලැබෙන තිත්ත ඇත්තකි.

නුදුරු අනාගතයේ මෙම සටහන පාදක කොටගෙන මගේ නමටත් ශියා නම් වූ ලේබලය ගසනු ඇත.

ලෙබ්බේවරු සහ දැනුම

අතීතය සතු දැනුම්, කුසලතා, ආකල්ප සම්භාරයන් වඩා වර්ධනය කරමින් වර්තමානය හරහා අනාගතයත් පසුකරමින්  මතුලොව දක්වා මිනිසා රැගෙන යන ප්‍රධානම මෙවලම අධ්‍යාපනයයි. මෙය ලෞකික ජීවිතයට සහ මරණින් මතු ජීවිතයට කියා බෙදා වෙන් කිරීම තරම් විහිළුවක් තවත් නොමැත.

ලෝකය අත්විඳිමින් අභියෝගයන් ජයගැනීමට සමත් පරිපූර්ණ පෞරුෂත්වයකින් හා ශීලාචාරකමකින් යුතු ශිෂ්ට සම්පන්න මානවයින් බිහි කිරීමත්, අශිෂ්ඨ, අසාධාරණ අයුක්ති සහගත  සම්ප්‍රදාය වෙනස් කර, පෘතුවි ගෝලයට ද පෘතුවි ජීවීන්ට ද වඩා යහපත් ජීවිතයක් ගොඩනැගීමටත්, එතුළින් දෙලොවම සාර්ථක කර ගැනීමේ කර්තව්‍යයට අපට පාර කියා දෙන අන්තර්ගතය කුරානය නම් වේ.  එම සැලසුම් අරමුණු  සාක්සාත් කරගැනීමේ ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය නම් වේ.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පාසල්, විශ්වවිද්‍යාල විෂය නිර්දේශය කල් ඉකුත් වූ නිර්දේශයක් බවත් එය කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන සංශෝධනයන් කෙරෙහි අවධානය යොමු වී ඇති කාල වකවානුවක,  වසර ගණනාවක් අරාබි, ඊජිප්තු විෂයන් හදාරා ඊට අමතරව තව වසර කිහිපයක් ඉහත කී පාසල් විෂයන් කිහිපයකුත් හදාරා තොප්පියක්, තලප්පාවක් ජුබ්බාවක් පැළඳගත්, මව් භාෂාවට අමතරව අරාබි උර්දු වචන මිශ්‍රණයන් විටින් විට පිට කල පමණින්, ඔහු කලා, විද්‍යා, වානිජ, නීති, ගණිත, තාක්ෂණ, දේශපාලන, යන සෑම ක්ෂේත්‍රයකම දැනුමෙන් පෝෂණය වූ වියත්, විද්වත්, බහුශ්‍රැතයෙකු වී,  උලමා නමැති සුවිශේෂි පදවියකුත් ඔහුට පිරිනමා, මිනිසාගේ ඇදහිලි, විශ්වාස, නීති රීති, හලාල් හරාම්,  අනුභව කළ යුතු ආහාර පාන, ඇඳුම් පැළඳුම්,  මෙන්ම සංස්කෘතිය පවා තීරණය කිරීමේ අධිකාරියත් ඔහුටම ලබා දීම යනු සමාජ පරිහානියේ මූලික අඩිතාලමයි.

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَ اخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَ الْفُلْكِ الَّتِي تَجْرِيفِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللهُ مِنَ السَّمَاءِ مِنْمَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَمَوْتِهَا وَ بَثَّ فِيهَا مِنْ كُلِّدَابَّةٍ وَ تَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَالسَّمَاءِ وَ الْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍيَعْقِلُونَ

"නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරුවීමෙහි ද ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකුම ව්‍යාප්ත කිරීමෙහි ද සුළං හැමීමෙහි ද අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වළාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත."
      2:164
 
වර්ෂ ගණනක් ශාස්ත්‍රාලයෙහි ඉගෙන ගත් නිසා ම, එහි ආහාර අනුභව කර තම උදරය විස්තීරණය කළ නිසා ම, ඔවුනට මෙවැනි කුරාන් වැකි මගින් කියවෙන සාධක අවබෝධ කර ගැනීමට හෝ ඒ පිළිබඳ ගවේෂණයන් සිදුකිරීමට තරම් දැනුමක් ඔවුන් සතු වූවා නම්, අද නාසා ආයතනය ඩාකාවලයි, කේම්බ්‍රිජ්, ඔක්ස්ෆෝඩ් යුනිවසිටි  ඉස්ලාමාබාද් හෝ අහමදාබාද් යුනිවසිටි ලෙසත් වෙනස් වෙන්න තිබුණා. මොවුන්ට කල හැකි උපරිමය වන්නේ, යම් නව සොයා ගැනීම් වීඩියෝවක් තුලට මක්කා ඉමාම්ගේ කුරාන් පාරායනයක් යොදා එඩිටින් කිරීමට හෝ 14 වන සියවසට පෙර විසූ විද්‍යාඥයින්ගේ පින්තූර ටිකක් යුටියුබ්, වට්ස්අප්, ෆේස්බුක් හරහා ශෙයා කිරීම පමණයි.

අල් කුරානය හරහා මානව සංහතියට පවසන අනුශාසනාවන් නිවැරදිව වටහා ගැනීමට හැක්කේ ද නිවැරදි දැක්මක් තිබෙන අධ්‍යාපනයේ ප්‍රවීණයන්ට යැයි  අල් කුරානය පවසයි.

Friday, February 1, 2019

මුස්ලිම්, මුඃමින් සහ කාෆිර් අල් කුර්ආනීය දෘෂ්ටියෙන්

සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමාන වෙති. එම
යුක්තිය, සාධාරණත්වය, නිදහස, ගරුත්ව සහ ආරක්ෂාව අගයන නීතිගරුක, යුක්තිගරුක, ගුණගරුක, සමාජයක් ලොව ස්ථාපිත කිරීම අල් කුර්ආනයේ එකම උතුම් පරමාර්ථය වේ.

අල් කුර්ආනීය භාෂා ව්‍යවහාරයට අනූව,

1. දේව ග්‍රන්තය අපේක්ෂා කරන උතුම් පරමාර්ථයන් ලොව අනුගමනය කරන්නන් මුස්ලිම්වරුන් ය. followers of Alquran's teaching (Higher objectives) = Muslims.

2. දේව ග්‍රන්ථයේ හිමිකරු විශ්වාස කරන්නන් මුඃමින්වරුන්‍ ය. Believers of God = Mu'min


මෙහිදී අල් කුර්ආනය මුඃමින්වරුන් යැයි ලබා දෙන්නා වූ නිර්වචනය, වර්තමානයේ අප විසින් මුස්ලිම්වරුන් යැයි ලබා දී ඇත.


3. දේව ග්‍රන්ථයේ හිමිකරුව විශ්වාස කර, උසස් පරමාර්ථයන්, සාරධර්මයන් ලොව අනුගමනය කරන්නන් මුෆ්ලිහීන්වරුන් ය. (followers of Alquran's teaching (Higher objectives) while believing God = Muflih

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَاوَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِنْ تُطِيعُوا اللَّهَوَرَسُولـَهُ لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌرَحِيمٌ

අපි විශ්වාස කළෙමු යැයි ගැමි අරාබිවරු පැවසීය. නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුල් වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය මහාකරුණාන්විතය.
49:14
--------------------------------------------------------------------------------------------------------------------------


අල් කුර්ආනීය දැක්මට අනූව, මිනිසා වර්ග තුනකට සාරාංශගත කල හැක.

1. යම් සමාජයක අයුක්ති සහගත අසාධාරණයන් සිදුකරන්නා සහ ඊට අනුබල දෙන්නා. (කාෆිර්)

2. එම සමාජයේ යුක්තිය සහ සාධාරණත්වය පිළිගෙන, එය ආරක්ෂා කර පෝෂණය කරන්නා. (මුස්ලිම්)

3. එම සමාජයේ යුක්තිය සහ සාධාරණත්වය පිළිගෙන, අයුක්තියට සහ අසාධාරණත්වයටත් එරෙහි වී, දේව විශ්වාසයද තබන්නා. (මුෆ්ලිහීන්)

වර්තමානයේ අප මුස්ලිම් නොවන්නන් ලෙස සලකනු ලබන බහුතරයක්, අල් කුර්ආනයේ ව්‍යවහාරයට අනූව, මුස්ලිම්වරු හැටියටත්, ඔවුන් මුඃමින් නොවන්න ලෙස සැලකීම ඉතා උචිත යැයි අප සැලකිල්ලට ගත යුතුයි.