Saturday, February 2, 2019

ලෙබ්බේවරු සහ දැනුම

අතීතය සතු දැනුම්, කුසලතා, ආකල්ප සම්භාරයන් වඩා වර්ධනය කරමින් වර්තමානය හරහා අනාගතයත් පසුකරමින්  මතුලොව දක්වා මිනිසා රැගෙන යන ප්‍රධානම මෙවලම අධ්‍යාපනයයි. මෙය ලෞකික ජීවිතයට සහ මරණින් මතු ජීවිතයට කියා බෙදා වෙන් කිරීම තරම් විහිළුවක් තවත් නොමැත.

ලෝකය අත්විඳිමින් අභියෝගයන් ජයගැනීමට සමත් පරිපූර්ණ පෞරුෂත්වයකින් හා ශීලාචාරකමකින් යුතු ශිෂ්ට සම්පන්න මානවයින් බිහි කිරීමත්, අශිෂ්ඨ, අසාධාරණ අයුක්ති සහගත  සම්ප්‍රදාය වෙනස් කර, පෘතුවි ගෝලයට ද පෘතුවි ජීවීන්ට ද වඩා යහපත් ජීවිතයක් ගොඩනැගීමටත්, එතුළින් දෙලොවම සාර්ථක කර ගැනීමේ කර්තව්‍යයට අපට පාර කියා දෙන අන්තර්ගතය කුරානය නම් වේ.  එම සැලසුම් අරමුණු  සාක්සාත් කරගැනීමේ ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය නම් වේ.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පාසල්, විශ්වවිද්‍යාල විෂය නිර්දේශය කල් ඉකුත් වූ නිර්දේශයක් බවත් එය කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන සංශෝධනයන් කෙරෙහි අවධානය යොමු වී ඇති කාල වකවානුවක,  වසර ගණනාවක් අරාබි, ඊජිප්තු විෂයන් හදාරා ඊට අමතරව තව වසර කිහිපයක් ඉහත කී පාසල් විෂයන් කිහිපයකුත් හදාරා තොප්පියක්, තලප්පාවක් ජුබ්බාවක් පැළඳගත්, මව් භාෂාවට අමතරව අරාබි උර්දු වචන මිශ්‍රණයන් විටින් විට පිට කල පමණින්, ඔහු කලා, විද්‍යා, වානිජ, නීති, ගණිත, තාක්ෂණ, දේශපාලන, යන සෑම ක්ෂේත්‍රයකම දැනුමෙන් පෝෂණය වූ වියත්, විද්වත්, බහුශ්‍රැතයෙකු වී,  උලමා නමැති සුවිශේෂි පදවියකුත් ඔහුට පිරිනමා, මිනිසාගේ ඇදහිලි, විශ්වාස, නීති රීති, හලාල් හරාම්,  අනුභව කළ යුතු ආහාර පාන, ඇඳුම් පැළඳුම්,  මෙන්ම සංස්කෘතිය පවා තීරණය කිරීමේ අධිකාරියත් ඔහුටම ලබා දීම යනු සමාජ පරිහානියේ මූලික අඩිතාලමයි.

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَ اخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَ الْفُلْكِ الَّتِي تَجْرِيفِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللهُ مِنَ السَّمَاءِ مِنْمَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَمَوْتِهَا وَ بَثَّ فِيهَا مِنْ كُلِّدَابَّةٍ وَ تَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَالسَّمَاءِ وَ الْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍيَعْقِلُونَ

"නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරුවීමෙහි ද ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකුම ව්‍යාප්ත කිරීමෙහි ද සුළං හැමීමෙහි ද අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වළාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත."
      2:164
 
වර්ෂ ගණනක් ශාස්ත්‍රාලයෙහි ඉගෙන ගත් නිසා ම, එහි ආහාර අනුභව කර තම උදරය විස්තීරණය කළ නිසා ම, ඔවුනට මෙවැනි කුරාන් වැකි මගින් කියවෙන සාධක අවබෝධ කර ගැනීමට හෝ ඒ පිළිබඳ ගවේෂණයන් සිදුකිරීමට තරම් දැනුමක් ඔවුන් සතු වූවා නම්, අද නාසා ආයතනය ඩාකාවලයි, කේම්බ්‍රිජ්, ඔක්ස්ෆෝඩ් යුනිවසිටි  ඉස්ලාමාබාද් හෝ අහමදාබාද් යුනිවසිටි ලෙසත් වෙනස් වෙන්න තිබුණා. මොවුන්ට කල හැකි උපරිමය වන්නේ, යම් නව සොයා ගැනීම් වීඩියෝවක් තුලට මක්කා ඉමාම්ගේ කුරාන් පාරායනයක් යොදා එඩිටින් කිරීමට හෝ 14 වන සියවසට පෙර විසූ විද්‍යාඥයින්ගේ පින්තූර ටිකක් යුටියුබ්, වට්ස්අප්, ෆේස්බුක් හරහා ශෙයා කිරීම පමණයි.

අල් කුරානය හරහා මානව සංහතියට පවසන අනුශාසනාවන් නිවැරදිව වටහා ගැනීමට හැක්කේ ද නිවැරදි දැක්මක් තිබෙන අධ්‍යාපනයේ ප්‍රවීණයන්ට යැයි  අල් කුරානය පවසයි.

No comments:

Post a Comment